| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • You already know Dokkio is an AI-powered assistant to organize & manage your digital files & messages. Very soon, Dokkio will support Outlook as well as One Drive. Check it out today!

View
 

අනුරාධපුරය නගරය

Page history last edited by rajitha ramyakantha jayaweera 11 years, 9 months ago

මුලපිටුව​ අධ්‍යපනවේදී උපධි පාඨමලා සටහන් | ගණිත ක්‍රියාකාරකම් | මාගැන තොරතුරු | මා ඇමතීම

අනුරාධපුරය නගරය

 

අනුරාධපුරය නගරය එහි ප්‍රභවය

By admin On December 18, 2009 · Add Comment

මහාචාර්ය රාජ් සෝමදේව

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

පුරාවිද්‍යා පශ්චාත්  උපාධි ආයතනය

කැලණි විශ්ව විද්‍යාලය

ක්‍රිස්තු පුර්ව හයවන සියවසේ දී අනුරාධ නම් සංක්‍රමණිකයකු විසින් මල්වතු ඔය අසබඩ අනුරාධග්‍රාම නමින් ජනාවාසයක් පිහිටුවන ලද බවත්, 2 (මව VII : 43 ) ඉන් පසු අවස්ථාවක පණ්ඩුකාභය නමින් හැඳින්වූ රජකු විසින් එය නගරයක් බවට පරිවර්තනය කොට අනුරාධපුරය යනුවෙන් නම් කරන ලද බවත්3 (මව X: 76) අනුරාධපුරයේ ප්‍රභවය හා එහි මූල අවස්ථා පිළිබඳ ව අප බොහෝ දෙනා තුළ පවතින සාමාන්‍ය අදහසයි. සියවසකට නොඅඩු කාලයක් තිස්සේ පැවැති මෙම අදහස්වලට තවත් බොහොමයක් අතිශයෝක්ති සහගත හා ඇතැම් අවස්ථාවක අද්භූත නාටකීය ස්වරූපයක් පිළිබිඹු කරන සිද්ධි මාලාවක් ද ඈඳී තිබේ.

පසුගිය දශක තුනක පමණ කාලපරිච්ඡේදයක් ඇතුළත සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවේ සර්ව භූමිදර්ශනය තුළත් ස්ථානීය වශයෙන් අනුරාධපුර හා එහි  තදාසන්නයේත් සිදුකරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ හා කැනීම් මගින් අනුරාධපුර නගරයේ ප්‍රභවය හා වර්ධනය වෙත අප මුලින් විශ්වාස කළ අන්දමට වඩා පුළුල් කාල අදියරක් හා ක්‍රමානුකුල පරිණාම අදියරක් සකස් කොට අදාළ කටයුතු කිරීමට හැකියාව ලැබී තිබේ. ‍මේ සම්බන්ධ සොයා ගැනීම හා එසේ සොයා ගන්නා ලද බහුවිධ ද්‍රව්‍යාත්මක සාධක ඉතා පුළුල් එමෙන් ම සුක්ෂම සිද්ධාන්තමය කරුණු මාලාවක් ඔස්සේ පුරාවිද්‍යාත්මක අර්ථනිරූපණවලට ලක් කෙරෙමින් තිබේ. ඒ අනුව දැනට  ලැබී ඇති දැනුම පාදක කොට ගෙන අනුරාධපුර නගරයේ ප්‍රභවය හා වර්ධනය පිළිබඳව පහත දැක්වෙන අදියර යෝජනා කළ හැකි ය.

1)    පූර්ව නාගරික පසුබිම

2)    නාගරික අවධිය

3)    පරිහානි අවධිය

4)    නැවත සොයා ගැනිම් හා සංරක්ෂණ අවධිය.

පූර්ව නාගරික පසුබිම නැවත අදියර හතරක් ඔස්සේ විශ්ලේෂණය කිරීමට අවකාස තිබේ.

පහත දැක්වෙන පරිදි ය.

(අ) මධ්‍ය ශිලායුග නිදහස් භූමි දර්ශන    අවධිය (ක්‍රි.පු.1000ට පෙර )

(ආ) මධ්‍ය ශිලායුග යකඩ යුග  සංක්‍රාතික අවධිය (ක්‍රි.පු. 1000-800)

(ඉ)  යකඩ යුග මුලික කෘෂිකාර්මික  ජනාවාස අවධිය (ක්‍රි.පු.800-600)

(ඊ)  යකඩ යුග කෘෂිකාර්මික හා වෙළෙඳ ජනාවාස අවධිය (ක්‍රි.පු.600-300)

මධ්‍යශිලා යුග නිදහස් භූම් දර්ශන අවධිය

මින් අදහස් කරන්නේ ශ්‍රීලංකාවේ ප්‍රාග්ඉතිහාසයෙන් වැඩි කොටසක් නියෝජනය කරනු ලබන මධ්‍යශිලා යුගයේ පැවැත්ම පිළිබඳ අවධිය ශ්‍රී ලංකාවේ අත්දැකීම් අනුව මෙම යුගය මින් පෙර වසර 40,000 තරම් ඈත සමයකට ව්‍යාප්ත වීම පිළිබඳ ව ස්ථිර සාධකත් වසර 1,25,000 තරමක් මේ ඈතකට ව්‍යාප්ත වන බවට අනුමාන සාධක දැන් ලැබී තිබේ(DERANIYAGALA 1988) මෙතරම් පුළුල් කාල පරිච්ඡේදයක් ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගයට ලැබී ඇතත්, අනුරාධපුරය හා එහි තදාශ්‍රිත ප්‍රදේශ මෙකී සංස්කෘතියට අයත් මානව කණ්ඩායම් විසින් ජනාවාස කරන ලද්දේ මින් වසර 7,000කට පෙර බව සනාථ කරන සාධක ලැබි තිබේ. 1969 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුනුවර  ගෙඩිගේ ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමක් මගින් එහි පිහිටි ගලට ඉහළින් ස්ථරයේ මට්ටම මගින් නියෝජනය නරන කාල වකවානු ව ඉහත කී මධ්‍යශිලා යුග මිනිසා විසින් ජනාවාස කරන ලද බව සනාථ කොට තිබේ(DERANIYAGALA 1992) මධ්‍යශිලා යුගයේ දී අනුරාධපුරය කිනම් අකාරයකට පැවතියේ ද යන්න පිළිබඳ ව අනුමාන කිරිමට නම් අප විසින් ශ්‍රී ලංකාවේ වියළි කලාපීය මධ්‍යශිලා යුග සංස්කෘතියට අයත් මිනිසාගේ ජීවන වටපිටා ව පිළිබඳව ව වෙනත් ප්‍රදේශවලින් ලැබී ඇති දැනුම ප්‍රයෝජනයට ගත යුතු ව තිබේ6. ඇත්ත වශයෙන් ම ‍‍‍‍ඓතිහාසික යුගයේ පසු අවධිවල දී මහා පරිමාණයෙන් ස්ථරායනය අවුල් නො වන්නට මහින්තලය, රිටිගල ආදී ස්වාභාවික ගුහා ආවරණවලින් මේ සම්බන්ධයෙන් වැදගත් සාධක ලැබෙන්නට ඉඩ තිබිණි7. අනුරාධපුර සහ එහි අවට ප්‍රදේශයේ එවක පැවැති මධ්‍ය ශිලා යුගයට අයත් මිනිසා පිළිබඳ ව සාධක අඩුවැඩි කරමින් අපට ලැබී ඇත්තේ මල්වතුඔය පෝෂක ප්‍රදේශයෙන් පමණකි. එවැනි ජලමාර්ග ඇතැම් විටෙක මධ්‍ය ශිලා යුග මිනිසාට සරු දඩබිම සකස් කර දෙන්නට ඇති අතර මෝසම් වර්ෂ කාලවල දී අවට තිබු ස්වාභාවික ගුහා ඔවුන්ගේ වාසස්ථාන ලෙස ප්‍රයෝජනයට ගැනෙන්නට ඇත.

 

 

 

 

 

 

මධ්‍ය ශිලා – යකඩ යුග සංක්‍රාන්තික අවධිය 

ඇත්ත වශයෙන් ම ඉතා අඩු දැනුමක් අප සතු ව ඇත්තේ මෙසමය පිළිබඳ ව ය. 1969 වසරේ ගෙඩිගේ ප්‍රදේශයේ කළ කැණිමේ ස්ථරායනය අනුව අපට පැහැදිලි ව පෙනෙන්නේ එතෙක් පැවැති ගල් මෙවලම් පාවිච්චි කිරිමේ තාක්ෂණය හිටිවන ම ලෝහ තාක්ෂණය හඳුනා ගත් කෘෂිකාර්මික ජීවන ශෛලියකින් යුත් සංස්කෘතියකට පරිවර්තනය වී ඇති බව ය. හදිසි සංක්‍රමණාවලියකින් මිස එවැනි තාක්ෂණික පරිවර්තනයක් හිටි අඩියේ ම සිදුවිය නො හැකි ය. දැනට මේ සම්බන්ධයෙන් ගැඹුරු පර්යේෂණවල නියුක්ත වී සිටින විද්වතුන්  විසින් පෙන්වා දෙන්නේ මේ සමයෙහි ශ්‍රී ලංකාවට ආසන්න දකුණු ඉන්දීය ප්‍රදේශවලින් මෙරටට මුලික ජනසංක්‍රමණ ක්‍රියාවලියක් ආරම්භ වන්නට ඇති බව ය. කෙසේ වෙතත් අපට පෙනෙන්නේ නව යැපීම් ක්‍රමයකට හා ජීවන ශෛලියකට අයත් ජන කණ්ඩායමක් දිවයිනේ අන් පළාත්වල මෙන් ම, අනුරාධපුරයේත් එහි අවට ජලපෝෂක ප්‍රදේශවල ත් ක්‍රමයෙන් ජනවාස ඇරැඹි බවයි.(SENEVIRATHNE 1984)

යකඩයුග මුලික කෘෂිකාර්මික ජනාවාස අවධිය 

 වියහැකි ආකාරයට නම් අනුරාධපුරය හා එහි අවට ප්‍රදේශයේ මුලික ගම්මානවල වර්ධනය සිදුවන්නට ඇත්තේ මේ යුගයේ දී ය. යම් තරමක සාර්ව පරිමාණයකින් තදාශ්‍රිත කැළෑ එළිපෙහෙළි කිරීමත් ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශවල හා එහි තදානුබද්ධ පරිශ්‍රවල ගොවිබිම් සැලකිය  යුතු අන්දමකින් දියුණවීමත්, මේ සියල්ලට ම සාපේක්ෂ වශයෙන් සිදු වු ප්‍රාදේශික ජනගහණයේ වර්ධනය ත් මේ යුගයට ම අයත් කළ හැකි ය. 1969 ගෙඩිගේ කැණීම මගින් අනාවරණය කරන ලද ස්ථරායනයේ තෙවන ප්‍රධාන ස්ථරය මෙ සමයට අයත් පරිණත සාධක ඉදිරිපත් කරයි. කාලරක්ත වර්ණ මැටි බඳුන්9 යබොර, විලාසිතා පබළු, ආදාහනය කරන ලද හා වැළලූ මෘත ශරිර සහිත සුසාන මේ සමයට අයත් දිවයිනේ අන් පළාත්වලින් ලැබී ඇති සාධකයෝය.

කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් මෙ සමයෙහි වඩාත් ප්‍රමුඛත්වයට පත්වන්නට ඇත්තේ හේන් වගාවයි. (SIRIWEERA 1978) වාරි කෘෂිකර්මය යැපීම් මෙසමය තුළ පවතින්නට ඇතැ’යි අනුමාන කළ හැකිය.යම් තරමකින් හෝ වාරි කෘෂිකර්මය වෙත නැඹුරුවීමේ ප්‍රවණතාව ජන රේඛනයේ ප්‍රසාරණය සමග කිසියම් ආකාරයක සම්බන්ධතාවක් ඇතැ’යි පෙනේ. කෘෂිකාර්මික කටයුතු සඳහා හොදින් ගැළපෙන ශ්‍රී ලංකාවේ රතු දුඹුරු පස කලාපයෙන්10 හරි අඩකට වැඩි කොටසක් උතුරු මැද වියළි කලාපයට අයත් වන බැවින් ද, කෘෂිකර්මයේ සාඵල්‍යතාව ක්‍රමයෙන් වර්ධනය කර’ ගැනීමට පුළුල් අවකාශයක් තිබු බැවින් ද මූලික සමාජ ස්ථරායනයකට අවශ්‍ය අභ්‍යන්තර ගතික ස්වභාව ප්‍රභවය වීමට අවශ්‍ය පසුබිම් මෙ සමයෙහි සකස් වන්නට ඇත. දැනට අප අනුරාධපුරය නමින් හඳුන්වන භූමි ප්‍රදේශය ඉතිහාසයේ ප්‍රථම වරට මැනවින් ජනාශ්‍රිත වන්නට ඇත්තේ මෙ සමයේ දී ය.

  

යකඩ යුග කෘෂිකාර්මික හා වෙළෙඳ ජනාවාස අවධිය

මෙම අවධියෙ දී පෙනෙන පැහැදිලි විශේෂත්ව ය වන්නේ ඉන්දියානු සාගරයේවෙළෙඳ කටයුතු හා සම්බන්ධ ප්‍රවණතා කෙරෙහි ශ්‍රී ලංකාවේ සංවේදිතාවයි11 මේ කටයුතු මහා පරිමාණයෙන් සිදු  නො වුවත්, ශ්‍රී ලංකාවේ යම් තරමක සංවේදීතාවක් ඒ වෙත දැක්වීය12 අනුරාධපුරය මේ සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක තත්වයකට අනිවාර්ය ලෙස මුහුණු දෙන්නට ඇත්තේ එවක ක්‍රියාකාරි වරායන් තුනකට නසමීපස්ත ආකාරයකින් පිහිටා තිබීම නිසා ය. බටහිරින් මාතොට වරාය ද, නැගෙනහිරින්  ගෝකණ්ණ තීර්ථය නමින් හැඳින් වු වර්තමාන ත්‍රිකුණාමලය ද, උතුරින් දඹකොළ පටුන නමින් හැඳන් වු වරාය ද, අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට දොරටු සේ විවෘත ව තිබිණි. මේ හැරුණු විට කලාඔය මුවදොර ප්‍රදේශය මුතු කිමීදීම සම්බන්ධයෙන් වැදගත් ප්‍රදේශයක් බටට පත්වෙමින් තිබිණි මේ සම්බන්ධයෙන් අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ නිශ්චිත වශයෙන් ම මේ වරායන් භාවිතයට පැමිණියේ කෙදිනක ද යන්න තේරුම් ගැනීමයි13.

ක්‍රි.පු. 250 හා ඒ සමීපස්ථ කාලයක දී රචිත ශිලාලේඛනවල වෙ‍ළෙඳාම සඳහා මෙහි පැමිණි විදේශික කණ්ඩායම් පිළිබඳ ව සැලකිය යුතු වැදගත්කමකින් සඳහන් කර තිබෙන බැවින් අවම වශයෙන් ඉන් සෑහෙන කලකට පෙර වකවානුවක සිටි මේ නව අත්දැකීමට ශ්‍රී ලංකාව ම මුහුණ දී තිබෙනු පෙනේ 14 ඉදිරිපත් කරන කරුණු හා රචිත කාලය පිළිබඳ විචේචනාත්මක ගැටලු රාශියක් තිබුණ ද ක්‍රි.පු. හයවන හා පස්වන සියවස්වල දී අනුරාධපුරය පිළිබඳ ව මහාවංශයේ කෙරෙන විස්තරයේ සඳහන් වන යවනයින් ද, පරණවිතාන විසින් සිය කැණීම්වලින් හඳුන්වාදෙන ලද දෙමළ ගෘහපතියන්ගේ මාලයක ද (JRASCB XXXV :54-56) ඇත්ත වශයෙන් ම මේ අවධිය පිළිබඳව අනුරාධපුරයෙන් අප වෙත ලැබෙන සංඥා ය.

සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක සාධකවලින් යම් තරමක් දුරට පෙන්වා දී ඇති මේ නව ප්‍රවණතා ව අනුරාධපුරයේ නැඟීම කෙරෙහි දැක්වු තීරණාත්මක දායකත්වය අප විසින් මේ වනතුරු ක්‍රමවත් විශ්ලේෂණාත්මක අර්ථකථනයකට ලක් නො කිරීම බලවත් අඩුපාඩුවකි.අනුරාධපුරය නුදුරු එක්තැනෙක වෙළෙඳුන් පැමිණ තම බඩු පොදි ලිහන හෙයින් එකී ස්ථානය පුර‍භේදන නම් වී යැ’ යි මහාවංශ අටුවාව කියයි. නූතන අර්ථයෙන් ගත් කල මෙය වෙළෙඳ මධ්‍යස්ථානය (EMPORIUM) යන අදහසට සමාන ක්‍රියාකාරිත්වයක් පෙන්වා දෙයි. ක්‍රිස්තු පූර්ව යුගයේ අවසන් සියවස්වල දී අනුරාධපුරයේ ඉදි වූ මහා ස්මාරක ගොඩනැගිලි හා වැව් ඇතුළු ඇතැම් වාරි මාර්ග සඳහා ආයෝජනය කළ යුතු මූලධන උත්පාදනයේ වාහක මාධ්‍ය වන්නට ඇත්තේ නැගෙමින් ආ මේ නව වෙළෙඳ කටයුතු විය යුතු ය. ආගමික වාසස්ථාන සකස් කිරීම හා පිරිනැමීම කෙරෙහි මේ වෙළෙඳ ප්‍රජාව සහභාගිවී ම පිළිබඳ සාධක ක්‍රිස්තු පුර්ව 250 දී හෝ ඒ සමීප කාලයක දී රචනා කර ඇති ඇතැම් ශීලා ලේඛනවල පෙන්වා දී තිබේ. (PARANAVATANA 1970)

මුලික නාගරීකරණ අවධිය 

(ක්‍රි.පු. 300-ක්‍රි.පු.41) 

නගරයක් බිහිවීමට අවශ්‍ය මුලික පදනම් ව්‍යුහයක ඇතැම් ලක්ෂණ සකස් වීම ඇරැ‍‍ඹෙන්නට ඇත්තේ මේ සමයේ දී ය. මහාවංසය අනුව පණ්ඩුකාභය රජු‍ගේ නගර නිර්මාණ විස්තරයට අයත් වන්නේ මෙම කාල පරිච්ඡේදයට ය 15. එමෙන් ම පණ්ඩුකාභය හා ඔහුගේ ඥාතීන් අතර ඇතිවන යුද්ධමය ස්වරූපයේ අරගල ඇත්ත වශයෙන් ම නාගරීකරණයත් මූලික නාගරික අවධිය දෙසට චලනය වන සමාජයක ඇති විය හැකි බවට රෙන්fපියු විසින් අන් තැනක පෙන්වාදෙන (RENFEREW AND CHERRY 1986) වංශාධිපතින්ගේ බල අරගල (PEER POLITY INTERCTION) ආරම්භක අවස්ථාවක් සලකුණු කරයි. දැනට දෘශ්‍යමාන භෞතික හා සාහිත්‍යමය සාධක තුලනාත්මක සැලකිල්ලකට ගත්කල ශ්‍රී ලංකාවේ පුර්ව රාජ්‍ය සමාජයකට අයත් අවසන් ක්‍රියාදාමාවලියේ සංගෘහිත වන්නේ මෙසමයෙහි දී බව පෙනේ.කිසියම් ආකාරයක පාලන බලයක් ස්වාධීන ව බුක්ති විඳි පරුමක16 නම් ප්‍රධානීන් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වීමත්, එකිනෙකට වෙනස්කම් ඇති වෘත්තිකයින් සමාජයේ පෙනී සිටීම ත්17 මගින් සමාජයේ කිසියම් ස්ථරීකරණයකට ලක් කිරිමේ ප්‍රවේගයක් මේ කාලය තුළ අත්කර ගැනීමට තැත් දරන ආකාරය සමකාලීන ශිලාලේඛන මගින් පෙන්වා දෙයි .කුඹල්කරුවන්, කම්මල්කරුවන්,මැණික් කපන්නන් වැනි වෘත්තිකයන්ගේ පහළවීම නාගරීකරණයට ඉතා අවශ්‍ය ශිල්ප ප්‍රාගුණ්‍යතාව පිළිබඳ පැහැදිලි සාධකයකි. මීට අමතර ව රාජ්‍ය සමාජයකට අවතීර්ණ වීම සඳහා අවශ්‍ය වන දේශපාලන ඒකාග්‍රතාව ලබා ගැනීම සඳහා අනුරාධපුරය කේන්ද්‍රගත වෙමින් ඇරැඹි ව්‍යාපාර දාමයක් පිළිබඳ තොරතුරු අපට මහාවංශයෙන් දැන  ගන්නට ලැබේ. ඒ අතර ප්‍රධාන වන්නේ දුටුගැමුණු එළාර සටනයි. දුටුගැමුණු රජු විසින් ප්‍රථම වරට වඩා සංවේදී ලෙස දේශපාලන ඒකාබද්ධතාවක් (POLITICAL INTEGRATION) ඇති කරන ලද අතර අනතුරුව  ගත වු සියවස් දෙකක පමණ කාලය තුළ එකී ඒකාබද්ධතාව අසමතුලිතව බිඳ වැටීමට තැත් දරන ආකාරය විටින් විට අපට පෙනේ. බල්ලාටනාගට (ක්‍රි.පු.109-103) මුහුණ දෙන්නට සිදු වු සිවිල් අරගලය. අනතුරුව වට්ටගාමිණි අභය රජුට (ක්‍රි.පු. 89-77) එරෙහි ව ආ දේශපාලන කැරැල්ල, කණීරජානුතිස්සට (ක්‍රි.ව.29-32) එරෙහි ව ආ භික්ෂු කුමන්ත්‍රණය වාර්තා ගත එවැනි අවස්ථාන කිහිපයකි.

මේ වකවානුව වන විට අනුරාධපුර සුහුඹුල් නාගරික මධ්‍යස්ථානයක් ලෙස පවතින්නට ඇතැ’යි සිතිය හැක්කේ මිරිසවැටිය, රුවන්වැලිසෑය, වැනි ස්මාරක ඉදි වී තිබීමත්, ව්‍යවහාරික තාක්ෂණික සවිඥානතාව පිළිබිඹු කරන වැව හා ඊට සම්බන්ධත ව්‍යුහයන් මුලික මට්ටමින් ඉදි වී තිබීමත්, ශිල්ප ප්‍රාගුණ්‍යතාව අනුව විවිධ ශ්‍රේණි නගරයේ විශේෂිත ස්ථානවල රාශිභූත  වී සිටීමත්, ‍‍‍‍ඓතිහාසික මුලාශ්‍ර සඳහන් කරන අන්දමට ප්‍රධාන වරායන් හා ප්‍රත්‍යන්ත රෝහණ ජනපදය සම්බන්ධ කරන මාර්ග පද්ධතියක් සම්පුර්ණත්වයට පත් වී තිබීමත් යන කරුණු අඩුවැඩි වශයෙන් සැලකිල්ලට ගැනීමෙනි.

මුලික නාගරික අවධිය 

(ක්‍රි.ව.41-475) 

අනුරාධපුරය ආනුභවික නාගරික මුහුණුවරක් ලැබෙන්නේ කුටකණ්ණතිස්ස රජුගේ (ක්‍රි.පු.44-22) පාලන සමයේ ආරම්භයත් සමග ය. එරජු පළමුවරට අනුරාධපුර නගර ප්‍රාකාරය සත් රියනක් උසට කරවා, ඒ වටා‍ දිය අගලක් ද කර වී ය.18(ම.ව.XXXIV:32:33) ඇත්ත වශයෙන් ම අනුරාධපුරයේ නිත්‍ය නාගරික සැලැස්ම පිළිබඳ අදහස අප තුළ වර්ධනය වන්නේ මින් මෙපිට යුගය සම්බන්ධවයි. මෙසමයෙහි අනුරාධපුරය මුල්වරට නිත්‍ය සැලසුම් සහගත නාගරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වන්නට ඇත.අනුරාධපුරයට යාබද ව පිහිට ක්‍රි.පු.යුගයට අයත් එක්තරා ලිපියක නගර චූධික නමින් විස්තර කරන නගර නිර්මාපක වාස්තු විද්‍යාඥයා හෝ ඔහුගේ සම්ප්‍රදාය පවත්වාගෙන ආ ගුරුකුලයත්, තවත් ලිපියක නගර භූතික යනුවෙන් විස්තර වන වෘත්තියට අයත් සම්ප්‍රදාය නියෝජනය කරන වෘත්තිකයන් ද නව නාගරික සංවර්ධන සැලසුම් ක්‍රමයේ ක්‍රියාකාරීන් බවට පත් වන්නට ඇත. සැලසුම් අතින් පමණක් නොව ක්‍රියාකාරීත්වය අතින් ද අනුරාධපුරය පුර්ණත්වය දක්වා වර්ධනය වීම, අඛණ්ඩ ව ධාතුසේන රජුගේ (ක්‍රි.ව. 455-473) රාජ්‍ය කාලයේ අවසානය දක්වා අපට පැහැදිලි ව පෙනෙන අතර,ඉන් අනතුරුව ව සුළු කාලයක් පැවති අභ්‍යන්තරික දේශපාලනික අස්ථාවර භාවය එතරම් දීප්තිමත් අයුරකින් අනුරාධපුරයේ ප්‍රභාව ඉස්මතු කිරිමට බාධා පමුණුවයි.

අනුරාධපුරය පරිපූර්ණ ලෙස රටේ පරිපලන හා දේශපාලනික න්‍යෂ්ටිය බවට පත්වීමත් සමග ම ඉතා පුළුල් ප්‍රදේශයක් බලය නතු කරගත් ස්ථාවර බල මධ්‍යස්ථානයක් ලෙස ප්‍රථම වරට අනුරාධපුරය දිස් වේ. ඇත්තෙන්ම මෙම තත්ත්වය මාන් විසින් පැහැදිලි කරන විස්තෘත හා තීව්‍ර බල මධ්‍යස්ථාන (EXTENSIVE AND INTENSIVE POWER CENTERS) නිර්මාණය වීම පිළිබඳ සංකල්පය සමඟ පහසුවෙන් සැසඳිය හැකි ය. (MANN 1997) වසභ ක්‍රි.ව.(67-111) ගජබාහු  (ක්‍රි.ව.114-136)  ආදී ලම්බකර්ණ රජුන්ගේ ශිලාලේඛනවල පුළුල් ව්‍යාප්තිය ත්, එහි අන්තර්ගතයේ අපේක්ෂාත්, මේ කරුණු අවබෝධකර ගනීමට අපට පුරා සාහිත්‍ය අත්වැලක් ලබා දෙයි. (PARANAVITANA 1980) වසභ රජු නැවත වරක් අනුරාධපුරයේ නගර ප්‍රාකාරය රියන් 18 ක් උස්කොට බැඳ වු අතර ආරක්ෂිත ද්වාර ගෘහ ප්‍රධාන දොරටුවල සකස් කෙ‍ළේ ය. (ම.ව. XXXV : 96 : 98) ක්‍රි.ව 4 වන සියවස පමණ වන විට අනුරාධපුර නගරයේ සැලැස්ම පිළිබඳ ව පැහැදිලි අදහසක් අප වෙත ලැබේ. නගරයේ උතුර හා නැගෙනහිර දොරටු අසල නගර ප්‍රාකාරයෙන් පිට පිහිටි ද්වාර ග්‍රාම අතර උතුරෙහි වූ කාලසුමන වෙළෙඳ ග්‍රාමයත් නැගෙනහිරින් පිහිටි මහබතක වෙලෙඳ ග්‍රාමයත් පිළිබඳ සෙල්ලිපි සඳහන් කරයි. කාලසුමන වෙළෙඳ ශ්‍රේණිය ණය හා පොළී කටයුතුවල යෙදෙන බව තෝනිගල පර්වත ලිපිය අප වෙත පෙන්වා දෙයි. (EZ Vol’iii 172) බටහිර දොරටුව අසල ඇතුළු නුවර යෝනග වෙළෙඳුන් වාසස්ථාන ඉදි වී තිබිණි. උතුරු දකුණු දොරටු යා කරමින් වැටී තිබුණු මංගල විදිය, ආගමික හා සෙසු උත්සව සමග සම්බන්ධ විය. මහා විහාරය, ඇතුළු වැඩිමනත් ආගමික ස්මාරක පිහිටා තිබුණෝ දකුණු දොරටුව අසල පිටත භූමි භාගයේ ය. මෙ‍සමයෙහි අනුරාධපුර නගරයේ ව්‍යුහය පැවැති ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් දීර්ඝ ලිපියක් ගුණවර්ධන විසින් අන්තැනක පළ කොට තිබේ.19 (GUNAWARDANA 1989)

මේ අතර බෞද්ධ ආගමික මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බුද්ධිමය හා අර්ධ වශයෙන් දේශපාලන ආයතන වල මුහුණුවර ගනිමින් තිබිණි.නගරයක පැවැත්මට අවශ්‍ය බුද්ධිමය ධාරණාවන් එමගින් බෙදා හළ අතර, පාලක  ප්‍රභුන් හා  ශ්‍රමික බහුතරය අතර ඇති විය හැකි දුරස්ථතාව පාලනය කිරීමේ ව්‍යුභයක් ලෙස ආරාමවලට වැදගත් තැනක් හිමි වී තිබිණි. දිවයිනේ ඇතැම් පළාත් වලින් ලැබී.ඇති සාධක අනුව පොදු සමාජ විපත්තිකර අවස්ථාවල දී ආරාම ඊට මුහුණදිය හැකි අන්දමේ  ආර්ථීක සංචිතයකින් සමන්විත විය. මෙය වු කලී සරල සමාජ සංකීර්ණත්වයට පත්වීමේ දී, ආගමික සංකීර්ණත්වයට පත්වීමේ දී ආගමික ආයතන ආර්ථික   ප්‍රතිව්‍යාප්තිකරණ මධ්‍යස්ථාන (ECONOMIC REDISTRIBUTION CENTERS) බවට පත්වීම පිළිබඳ ව කා(ර්) පෝල්නරගේ සිද්ධාන්ත සමග ගැලපිය හැකි තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් යටතේ නගරය අවට බෞද්ධ ආරාමවල සිඝ්‍ර නැගීමක් මෙසමයෙහි දක්නට තිබිණි .ආර්ථික වශයෙන් පමණක් නොව, මේ බෞද්ධ ආරාමික සංස්ථාවන් තීව්‍ර නාගරික ක්‍රියාදාමයක අතුරු ප්‍රතඵලයක් ලෙස ඇති වන නාගරික  ව්‍යාධිකර තත්ත්වය (URBAN PATNOLOGICAL SITUATION) යම් තරමක් දුරට පාලනය කිරිම සඳහා ඉවහල් වන ආචාර විද්‍යාත්තමක න්‍යාය යාන්ත්‍රණයක් ලෙස තව දුරටත් වැදගත්කමකට ලක් විය.

පරිණත නාගරික අවධිය 

(ක්‍රි.ව.500-950) 

විශේෂයෙන් ම මෙකී පරිණත නාගරික තත්ත්වය නැගී එන්නේ මානවම්ම රාජවංශයේ පාලන කාලය තුළ දී ය. දැනට අනුරාධපුරයේ දක්නට තිබෙන බොහෝමයක් ස්මාරක පළමුවරට මෙසමයෙහි ඉදිකරනු ලද්දා වු හෝ අවසන් වරට මේසමයෙහි සැලකිය යුතු තරමේ ප්‍රතිසංස්කරණවලට ලක් වු ඒවා ය. එමෙන් ම දැනට අනුරාධපුරයේ හා එහි අවට ඉතිරි වී ඇති අග්‍රගණ්‍ය කලා කෘති සියල්ලක් ම පාහේ මෙම යුගය හා සම්බන්ධ වේ. දැනට ශේෂ ව ඇති පැරණිතම සාහිත්‍ය කෘතින්ගේ ප්‍රභවයට මග පෑදුවේ ද මෙම කාල පරිච්ජේදයයි.

මෙම සමය තුළ දී නාගරික සැලැස්ම ‍‍ඓන්ද්‍රීය වශයෙන් තව දුරටත් වැඩි වර්ධනය වු අතර, ඒ සමග ම අනුරාධපුරය නාගරිකත්වය අතින් පරිණත බවට පත් වූ බව සලකුණු කෙරෙන ගුණාත්මක ලකුණු පිළිබිඹු වන්නට විය. පැ‍රණි අනුරාධපුර නගරයේ මෑතකදී සිදු කරන ලද ක්ෂේත්‍ර පර්යේෂණ මාලාවකින් ලද ප්‍රතිඵල විශ්ලේෂණය කිරිමෙන් පසු පරිණත නාගරික අවධියේ දී අනුරාධපුර නගරයට අයත් භූමි ප්‍රදේශය අක්කර 181 ක් පමණ වන්නට ඇතැ’යි කනිංහැම් විසින් පෙන්වා දී තිබේ.(CONINGHAM 1996) පරිණත නාගරිකත්වය පිළිබඳ ව ගෝර්ඩන් වයිල්ඩි විසින් මින් දශක පහකට පමණ පෙර ගෙන හැර දක්වන ලද නිර්ණායක බොහොමයක මෙසමයෙහි අනුරාධපුරයේ පැවති තත්ත්වයන් සමග සතුටුදායක අන්දමින් සැසදේ නාගරික ජීවන ශෛලියක දක්නට ලැබෙන බුද්ධිවාදී නැඹුරු ව පිළිබඳ ව වයිල්ඩ්ගේ තර්කය අප සිතට නඟන්නේ අනුරාධපුරය කේද්‍ර කොටගෙන බිහි වු අෂ්ටමුල ආයතනවල සංවිධානය හා ක්‍රියාකාරිත්වයයි. අනෙක් අතට මෙසමයෙහි  උපරිමයට පත්වන ද්‍රව්‍යමය බහුවිධතාව සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මගින් පසුගිය දශකයක පමණ කාලය තුළ දී ඉස්මතු කොට පෙන්වා ඇති පුරාවස්තුන්ගෙන් පැහැදිලි වෙයි . මානවම්ම රජුන් දකුණු ඉන්දියාවේ පල්ලව රජුන් සමඟ දැක් වු සාධනීය ධනාත්මක සම්බන්ධතා නිසා අනුරාධපුරය තවත් අතකින් කලාපීය සහයෝගීතාව තුළ සාර්වභෞමික (COSMOPOLITION)වැදගත්කමක් ඉසිලීය.

බිඳ වැටිම. ප්‍රතිසංස්කරණ අත්හැර දැම්මේ අවධිය 

(ක්‍රි.ව.1000-1800)

සාහිත්‍යමය කරුණු අතින් හා පුරාවිද්‍යාත්මක සාධක අතින් ඉතා පැහැදිලි වන චෝළ ආගමනය අනුරාධපුර නගරයේ භෞතික මුහුණුවර මුලුමණින් ම ව්‍යාකූල තරම් හේතු නො වීය ය චෝල ජාතිකයින්ගේ අරමුණුවලට අනුව ඔවුන්ට වඩා වැදගත් වුයේ අකර්මණ්‍ය කරන ලද නගරයක් නොව, සක්‍රීය ජීවමාන නගරයකි.එහෙත් බිඳ වැටිම යන්නේන් මෙහි අදහස්  කරන්නේ චෝල පාලනයේ පැවැති අවුරුදු  17 ක පමණ කාලය තුළ අනුරාධපුර නගරයේ කිසිදු වර්ධනයක් දක්නට නොතිබීම පමණක් නොව, බොහෝ ගොඩනැගිලි හා ව්‍යුහයත් අභාවිත වීම නිසා ය චෝළ පාලනයෙන් අනුරාධපුරය මුදා ගත් පළමුවන විජයබාහු රජුට (ක්‍රි.ව.1055-1110) සිය පළමු කාර්යය ‍ලෙස අනුරාධපුරයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරිමට සිදුවන්නට ඇත්තේ මේ හෙයින් පළමුවන විජයබාහු රජු පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීමෙන් අනතුරුව එතෙක් අවුරුදු 1500 කට ආසන්න කාලයක් තිස්සේ වැඩී ආ සෞභාග්‍යමත් නාගරික මධ්‍යස්ථානයක් ක්‍රමයෙන් අභාවිත වන්නට විය. එය ඉන් සියවස් දෙකක හෝ තුනක හෝ කාලයක් තිස්සේ පොදු ජනයාගේ මතකයේ රැදුණේ අග්‍රගණ්‍ය හා පුජනීය වෙහෙර විහාරවලින් සමන්විත වන්දනීය භූමි භාගයක් ලෙසිනි.

නැවත සොයායාම් හා ප්‍රතිසංස්කරණ අවධිය 

(ක්‍රි.ව 1800-1950) 

 

ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමය සොයා බැලීම් හා ඒවා ප්‍රතිසංස්කරණය කිරිමෙහි ලා ඇති වු පුනර්ජීවය 19 සියවසේ දී ප්‍රභවය ලද සමාජ ප්‍රවණතා  අතර හොදින් ඉස්මතු වී පෙනේ. යටත් විජිත භාර නිලධාරින් සිය පරිපාලන කාර්යයන්ට අමතර ව පෞද්ගලික උනන්දුව මත කරන ලද සොයා බැලීම් හා වාර්තා කිරිම් නිසා 19 වන සියවසේ මුල් භායයේ සිට ම ශ්‍රී ලංකාවේ පැරණි නගර හා ස්මාරක පිළිබඳ උනන්දුවක් ශ්‍රි ලංකාව තුළ දැල්වෙන්නට විය. අනුරාධපුරය සම්බන්ධයෙන් අපට දැනට ඉතිරි වී ඇති  එවැනි වාර්තා ප්‍රමාණයෙන් අතළොස්සක් වුවද, ඉන් ඇති වු බලපෑම 1875න් පසු අපට හොදින් පෙනෙන්නට පටන් ගනී. 1870 දශකයේ දී නාරංවිට සුමනතිස්ස නමින් හැඳින් වු රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කිරිමට ගත් උත්සාහය නිසාත්, 1990 දශකයේ දී අනුරාධපුර රුවන්වැලි මහාචේතිය, වර්ධන සමාගමය  පිහිටුවීමත් ඒ සම්බන්ධයෙන් වු තීරණාත්මක සිදුවීම් ය. එම දශකයේ දී‍ ම අනුරාධපුර නටඹුන් වෙනුවෙන් හඩක් නැගූ බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මෑත යුගයේ අනුරාධපුරයේ ස්මාරක සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රබෝධයේ  පුරෝගාමි මෙහොවරක් ඉටු කෙළේ ය.

1890 දී ලංකා පුරාවිද්‍ය සමීක්ෂණය පිහිටුවීමෙන් අනතුරු ව 1950 දක්වා කාලය තුළ පුරෝගාමි විද්වතුන් රැසක් විසින් අනුරාධපුරයේ පැරණි මුහුණුවර ඉස්මතු කරලීම සඳහා ඉටු කරන ලද කාර්ය භාරය තවත් සුවිශේෂි පරිච්ජේදයකි. එහෙත් වල් බිහි වී තිබු ස්මාරකවලින් බොහෝ කොටසක කටුකො‍හොල් අරවා මතු කිරිම මෙන්ම ඒවාට ළඟා වීමට අවශ්‍ය මංපෙත් සකස් කිරිම මෙසමයෙහි සිදු විය. ශ්‍රි ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ ඉතිහාසයේ මුල් භාගයේ මුලුමණින් ම අනුරාධපුරය පදනම් කරගත් පුරාවිද්‍යාවක් බවට පත්වීම ලංකා පුරාවිද්‍යා සමීක්ෂණය මගින් අනුරාධපුරයේ පෞරාණික උරුමය වෙනුවෙන් කරන ලද වැඩ කොටසකට සාක්ෂ්‍ය සපයයි.

ප්‍රධාන සංරක්ෂණ අවධිය 

(ක්‍රි.ව.1950-1980)
 

නිදහස ලැබීමෙන් පසුව, ශ්‍රී ලාංකිය ජන සමාජය තුළ යම් දුරකට ඇති වු සංශෝධනවාදී අදහස් හේතු කොටගෙන රටේ අන් පළාත්වල ස්මාරක සංරක්ෂණය කිරිම හා තහවුරු කිරිමේ කටයුතු තව දුරටත් ආයතනගත ස්වරූපයකින් වර්ධනය විය. පුරාණතම අගනුවර ලෙසත්, ශ්‍රි ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස හිමිනරගෙන තිබු කීර්තියත් යන කරුණු සියල්ල පාදක කොටගෙන එහි දී අනුරාධපුරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි. දැනට තහවුරු කර ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ස්මාරක සියල්ල ම පාහේ මෙසමයෙහි කරන ලද කටයුතු වල ප්‍රතිඵලයෝය. ස්මාරක තහවුරු කිරිමට අමතර ව පුරාවිද්‍යාත්මක කැණීම්  කිහිපයක් අනුරාධපුරය   කේන්ද්‍රකොට ගෙන ආරම්භ කිරිම මෙම යුගයෙහි සිදු වු අතර පසු කලෙක අනුරාධපුරයෙහි ඉතිහාසිය ගොඩනැගීම සඳහා ඉන් ලැබුණු පිටුවහල තීරණාත්මකය.

අර්ථ නිරූපන හා සංරක්ෂණ අවධිය 

(ක්‍රි.ව. 1980 පසු) 

වි‍ශේෂයෙන් ම 1980 නු පසු ව කැණීම් ‍ගවේෂණ හා සංරක්ෂණ කටයුතුවලට සාපේක්ෂ ව අනුරාධපුර නාගරික ව්‍යුහය හා එහි සමාජ ඉතිහාසය තේරුම් ගැනිම සඳහා සිද්ධාන්තමය දිශානතියකින් යුතු ව එළැඹීමේ ප්‍රවණතාවක් තිබිණී. නව තාක්ෂණික ක්‍රම ආදේශ කිරිමෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමටත්,සංස්කෘතික දේපොළ වෙත අවම ලෙස අතරමැදි විමේ අවශ්‍යතාවත් මේ සමග තුළ අවධාරණය කෙරිණි යුනෙස්කෝවේ සහභාගිත්වය නිසා අනුරාධපුරයේ වු අති විශාල ස්මාරක දෙකක් තව දුරටත් තියුණු ලෙස පරික්ෂාවට ලක් කිරිමටත්, සංරක්ෂණය කිරිමටත් අවකාසයක් ලැබිණි.

වසර සහස්‍රකයකට වැඩි කාලයක් ප්‍රභාවත් ලෙස වැජ‍‍ඹේමින් ශ්‍රි ලංකාවටත්, වැදගත් සමාජ ආර්ථික හා දේශපාලනික මධ්‍යස්ථානයක් වු අනුරාධපුරය පිළිබඳ ව  අප තවමත් අවබෝධ කොටගෙන ඇත්තේ එහි ඇත්ත තත්ත්වයෙන් ඉතා සුළු කොටසක් පමණි.කාලයෙන් සඟවා ගත් එහි සැබෑ ඓතිහාසිකත්වය විග්‍රහ කිරිම සඳහා අපට තව දශකයක් හෝ ඊට වැඩි කලක් වෙහෙස වීමට සිදුවනු ඇත.

1)    1988 වර්ෂයේ ලෝකයේ ‍සංස්කෘතික දිනය වෙනුවෙන්  යුනෙස්කෝ සංවිධාන‍යේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලය මගින් මෙහෙයවන ලද සම්මන්ත්‍රණය සඳහා  1988 මැයි මස 21 දින අනුරාධපුර මහ බැංකු  ශ්‍රවණාගාරයේ දී කර්තෘ විසින්පවත්වන ලද දේශනයයි.

2)    ………………………………………..තත්ථ තත්ථ ව ගාමෙ තෙ තස්සා මව වා නපෙස්සඅත අනුරාධාගම තානමෙ කදම්බ  නදිසන්තිකෙ

3)    ………………………………………..නිවාසත්තා නුරාධානං අනුරාධපුර අහු නක්ඛත්තෙනා නුරාධෙන පතිට්ඨාපිත්තාය

4)    ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ පර්යේෂණ  ආරම්භ වන‍්නේ දහනමවන සියවසේ දෙවන භාගයේදී ය. ඉන් පසුව දේශීය විදේශීය  විද්වතුන්ගේ සහභාගිත්වයෙන් එම යුගය පිළිබඳව  විධිමත් පර්යේෂණ දියත් වු අතර ඒ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් දැන්  අප සතු ව තිබේ. ප්‍රාග් ‍ඓතිහාසික යුගය පිළිබඳව මෙතෙක් ලියැවුණු  සාරගර්භ ශාස්ත්‍රීය කෘතිය දැරණියගල විසින් 1988 දී ප්‍රකාශයට පත්කරන ලදී (DERANIYAGALA 1988)

5)    1969 වර්ෂයේ දී දැරණීයගල විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර ප්‍රදේශයේ කරන ලද කැණීමක වාර්තාව ANCIENTCEYLON  සඟරාවේ දෙවන අංකයේ පළ කොට තිබේ .එම ලිපිය අවසානයේ දී ඔහු එම කැණීමේ ප්‍රතිඵල පිළිබඳ ව සාරංශයක්  ඉදිරිපත්  කරයි. දැරණීයගලගේ එම විමර්ශනය සාමාන්‍ය පාඨකයාට පහසුවෙන් ලබා ගත නොහැක්කක් හෙයින් එම සාරාංශයේ අදාළ කොටසක් මෙහි පහත උපුටා දක්වා තිබේ. එහි දී දැරණීයගල  මෙසේ කියයි………………………වසර හත්දහසකට පමණ ඉහතදී නුතන වැදි පරපුරේ මී මුත්තා වු ඔස්ට්‍රලොයිඩි වර්ගයට අයත් මධ්‍ය ගල්යුගයේ බලංගොඩ මානවයා විසින් අනුරාධපුර ජනාවාස කරන ලද්දේ ය. ඔහුගෙන් පසුව ක්‍රි.පු. 400 දී පමණ අශ්වයින් යකඩ කර්මාන්තය පිළිබඳ දැනුම සතුව සිටි ශිෂ්ටාචාරවත් මිනිසා ඉන්දියාවෙන් මෙහි ප්‍රදේශයේ ව්‍යාප්ත වීය.වාරිමාර්ග  උපයෝගී කොට ගෙන වී වගා කළ මොවුන් ඇතැම් සංස්කෘතික ලක්ෂණ විසින් උතුරු ඉන්දියානු සම්ප්‍රදායයන්ට සමාන වෙනත් සංස්කෘතික වශයෙන් ඉතා ළංවනුයේ මධ්‍යම සහ දකුණු ඉන්දියාවේ පැවැති ඈත  යකඩ යුගය‍ට අයත් මොගලිතික සංස්කෘතියට වේ. (DERANIYAGALA 1972)

6)    ශ්‍රී ලංතාවේ ක්‍රිස්තු පුර්ව 250 හෝ ඊට ආසන්න වකවානුවක දී මහින්තලය, රීටිගල ආම්නෙකුවාටිකන්ද ආදි පර්වතාකාර කඳු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි තිබු ස්භාවික ගුහා ආවරණ බෞද්ධ සංඝයාගේ වාසස්ථාන බවට පරිවර්තනය කෙරීණි. එසමය අයත් අක්ෂරවලින් කොටන ලද ගුහා ලිපි රාශියක් එම ස්ථානවලින් ලැබී තිබේ. (PARANAVITANA 1970.1.75) (එම 76-93) සහ එම 236-269)

7)    ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා අඩු දෑනුමක් අප සතු ව ඇත්තේ යකඩ යුගය සම්බන්ධයෙනි. 1960 දශකයෙන් පසු ව මෙම යුගයට අයත් පුරාවිද්‍යාතමක ස්ථාන සොයා ගැනීම හා ඒවා පිළිබඳ වාර්තා තැබීම සමකාලීන පුරාවිද්‍යාත්මක ගවේෂණවල වැදගත් තේමාවක් බවට පත්විය. 1970 දී විමලා බෙග්ලි නම් මානවවිද්‍යාඥවරියක් වියළි කලාපයට අයත් පොම්පරිප්පු නම් යකඩ යුගයට අයත් භූමිය කැණීමට ලක් කළා ය. (BEGLER 1981-අනතුර ව 1988 දී මාතලේ දිස්ක්‍රික්කයට අයත් ඉබ්බාන්කටුව යකඩ යුග සුසාන භූමිඅය ද (BANADARANAYAKE 1992) 1997-1988 වසර වලදී කුරුණැගල දිස්ක්‍රිකයට අයත් යාපහුව සොහොන් කනත්ත යකඩ යුග සුසාන භූමියත් කැණීමට ලක් කෙරීණි.(P.G. 1997-

8)    ඉංග්‍රීසි භාෂාවෙන් BLACK AND REDWARE) යනුවෙන් සුවිශේෂ වළං වර්ගය සිංහලෙන් හඳුන්වනු ලබන්නේ කාල රක්ත වර්ණ මැටි බඳුන් යනුවෙනි.මෙම වළං වර්ගල ඇති විශේෂත්වය නම් ඒවා ඉන්දීය අර්ධද්විපයේ හා  ශ්‍රී ලංකාවේ යකඩයුගය නියෝජනය කරන ප්‍රධානතම සංකේතය විමයි. පිටත රතු පැහැයෙන් හා ඇතුළත කළු පැහැයෙන් යුතු මෙම වළං පශ්චාත්  ඓතිහාසික යුගවල දී භාවතා වු බවට සාධක නැත. කාල රක්ත වර්ණ වළං පිළිබඳව විස්තෘත අධ්‍යනයක් සින්ග් විසින් පවත්වා තිබේ (SINGH 1982)

9)     ශ්‍රී ලංකාවේ ඇති විවිධ පස්වර්ග අතුරින් කෘෂිකර්මය සඳහා වඩා යෝග්‍යතාවක් ඇති පස් වර්ගයක් ලෙස භූවිද්‍යාඥයින් විසින් හඳුන්වා දෙනු ලබන්නේ රතු දුඹුරු වර්ණයෙන් යුත් පසයි. මෙම පස් ශ්‍රී ලංකාවේ උතුරු මැද වියළි කලාපයේත්, ගිනිකොණ දිග අර්ධ ශුෂ්ක කලාපයේ පැතිරි තිබේ. ශ්‍රී ලංකාවේ මුල ඓතිහාසික යුගයට අයත් ජනාවාස අතරින් වැඩි ප්‍රමාණයක් දක්නට ඇත්තේ මෙම පස් කලාපය තුළ ය.

10)     ක්‍රි.පු. තෙවන සියවසේ දි පමණ සිට ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියන් සාගරයේ හා අරාබි මුහුදේ යාත්‍රා කළ නාවිකයින් දැන සිටි බව සනාථ කිරිමට බොහෝ සාධක තිබේ. මේ පිළිබඳ ලියවුණු ලිපි ගණනාවක් විරක්කොඩි විසින් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍රා සඟරාවේ විටින් විට පළකොට තිබේ. ඒ හැරුණු විට එම් විෂය සම්බන්ධයෙන් ලියු කෙටි ලිපියක් ගුරුගේ විසින් ද පළකොට තිබේ.(GURUGE 1993)

11)     ඉන්දියන් සාගරයේ යාත්‍රා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක් වු සම්බන්ධතාව විස්තර කරන ලිපියක් මින් පෙර අවස්ථාවක ගුණවර්ධන විසින් ලියා තිබේ.(GUNAWARDANA 1990-)

12)     ශ්‍රී ලංකාවේ පුරාණ වරායන් පිළිබඳ ව අපට ඇත්තේ ඉතා සුළු දැනුමකි. ඊට හේතුව එම් ස්ථාන සම්බන්ධයෙන් මෙතෙක් කෙරි ඇති පර්යේෂණවල හිගතාවයි.එහෙත් 1980-82 වර්ෂවල දී පුර්ණ මහාතිත්ථ වරාය යනුවෙන් හඳුන්වන ලද මාතොට පුරාවිද්‍යාත්මක කැණීම් ව්‍යාපෘතියක් පැවැත්වීණි. මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවත්, එක්සත් ජනපදයේ චිකාගෝ විශ්ව විද්‍යාලයත්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයත්, එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ජීබොඩ් කෞතුකාගාරයත්, තවත් ආයතන කිහිපයකුත් සහයෝගයෙනි.මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල පිළිබඳ ව කෙටි වාර්තාවක් ප්‍රිකට් විසින් අන් තැනක පළකොට තිබේ.(PRICKETT 1990-

13)     විදේශික සම්භවයක් ඇති පුද්ගල කණ්ඩායම් හා පුද්ගලයින් විසින් බෞද්ධ භික්ෂුන් උදෙසා කරන ලද පුජාවන් දැක්වෙන ශිලා ලේඛන දිවයිනේ පළාත් කිහිපයකින් ලැබී තිබේ. (බලන්න……. ඉලුබරතහි දමෙඩ ගමණෙ  කරීනෙ දමෙඩ ගෘහපතිකන සංඥ (JRASCB xxxv,54-56) : ගමික කබොඣහ ලෙණෙ …….JASCBNS 11:130-32)වරූඩි (ASCAR 1960-63-80)”7

14)     ………………..පුවිජාපෙත්වාන නෙමිත්ත වත්ථුවිජ්ජාවිදා තථා නගර පවර තස්මිං ගාමෙයෙව අමාපයි………..(බලන්න ම.ව.පරීච්ජේදයේ 75 ගාථාවේ සිට 105 දක්වා)

15)     ක්‍රි. පු. 250 පසු සියවස් දෙක හමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ රචිත ශිලාලේඛනවල පරුමක නමින් හඳන්වන ලද පුද්ගලයකු පිළිබඳ ව නිරන්තරයෙන් සඳහන් වෙයි. පරුමකවරුන් නමින හඳුන්වන ලද්දේ සමනාලීන තුළ විසු ඉඩම් හිමි ප්‍රභූ පන්තියක් විය හැකි බවට බොහෝ විද්වතුන් අදහස් පළ කොට තිබේ. (PARANAVITANA 1970  Ixxii)

17)    ක්‍රිස්තු පුර්ව 250 න් මෙපිට කාලයේ රචිත බ්‍රාහ්මි ශිලා‍ලේඛනවල විවිධ වෘත්තිකයින් පිළිබඳව ඉතා කෙටි සඳහන් කිරිම් දක්නට ලැබේ. සෙනෙවියන්, ඇමතියන්, භාණ්ඩාගාරිකයන්, ගණකයින් වැනි රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ වෘත්තිකයන් මෙන් ම නැට්ටුවන්, චිත්‍රකාරයින්, මැණික් කපන්නන් ආදි අනන්‍ය වෘත්තිකයින්  පිළිබඳව  ද එහි සඳහන් ය. මෙම විෂය සම්බන්ධයෙන් කෙටි විස්තරයක් පරණවිතාන සිය බ්‍රාහ්මී ශිලාලේඛන පිළිබඳ කෘතියේ හැඳින්විමට ඇතුළත් කොට තිබේ.( PARANAVITANA 1970  XCV)

 

Comments (0)

You don't have permission to comment on this page.